Tuesday, August 11, 2009

ඔබ මානසිකව සුදානම්ද.........? Are You Emotionally Ready


ඔබ මානසිකව සුදානම්ද.........?
දරුවෙකු පිළිබඳ ඔබගේ හැඟීම කුමක් වුවත් බිළිඳු සිනහවකට ඒ සියල්ල මායාකාරී ලෙස අවනත වීම ස්වභාවිකය.නමුත් දරුවා ඔබගේ කුසතුළට පැමිණුන දා පටන් ඔහුට /ඇයට ඔබගේ සිතුවිලි මානසික තත්වයන් බලපාන බැවින් නිරවුල් මනසක් සඳහා අවශ්‍යය පසුබිම සකසා ගැනීම වැදගත්ය.
ඔබ දෙදෙනාම සැබැවටම දරුවෙක් බලාපොරොත්තු වන්නෙද යන්න මූලිකව විසඳා ගත යුතුය.නැතහොත් දෙමාපියන්හේ,සමාජයේ කීමට හෝ වයස නිසා ,වෙනත් අවශ්‍යතා නිසාදරුවෙකු අවශ්‍යය යැයි සිතන්නේද?ඔබ මවක පියෙකු වූ දා පටන් ඔබගේ ජීවිතය විශාල ලෙස වෙනස් වන්නට වේ.ඔබගේ නිදහස, විවේකය, විනෝදාංශ මෙන්ම නින්ද, අධ්‍යාපනය, සමාජීය ජීවිතය යම් යම් ආකරයකින් දරුවා වෙනුවෙන් කැප කිරීමට සිදුවේ.සමහර විට මවකට නම් තම රැකියාව පිළිබඳවද දෙවරක් සිතිය යුතුවේ.මෙවැනි තත්වයන් යටතේ ඔබට මානසික පීඩනයකින් (Stress)තොරව සතුටින් සිතීමට නම් ඔබ දෙදෙනාම සැබවින්ම දරුවෙකු බලාපොරොත්තු විය යුතුය.

තවද බිරිඳ සැමියා ලෙස ඔබ දෙදෙනාගේ අන්තර් සම්බන්ධතාවය කෙතරම් ගැඹුරුද, ස්ථිර වූ ද යහපත් වූ ද පවුල් ජීවිතයක් ඔබ දෙදෙනාතම තිබේද යන්න වටහා ගෙන සිටීම තුළින් ගර්භිණී සමයේ හා ඉන්පසු දරුවාට මනා කායික මානසික රැකවරනයක් දීමට ඔබට හැකි වේ.කුසතුළ සිටින ඔබගේ දරුවාට සිය දෙමාපියන් අතර ඇති සෙනෙහස ලෙන්ගතුබව හොඳින්ම දැනේ.එසේම තදින්ම බලපායි.ඉන් මානසික ආතතිය තුළින් දරුවාට වන විපත් මඟ හැරී ඔඅහු/ඇය මනා පෞරුෂයකින් යුතු වේ.

එසේම පිළිසිඳ ගැනීමකට පෙර සිටම ඔබ දෙදෙනාම චර්යාමය වෙනසක් ඇති කර ගැනීම වැදගත්ය.ඉතා අවධාරණයෙන්ම කිවයුත්තක් නම්, අඩු ගනනේ මාස තුනකට පෙර සිට හෝ මව මෙන්ම පියාද එකසේ මත්පැන්, මත් ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතයෙන් සම්පූර්ණයෙන් මිදිය යුතුවේ.නැතහොත් ගබ්සාවීම්, අංගවිකල දරුවන් ඉපදීම, අඩු බර දරු උපත් හා වෙනත් විවිධ ආබාධ සහිත දරුවන් බිහිවිය හැක.

එසේම පෝෂ්‍යදායි ආහාර රටාවකට හුරුවීම හා හැකිතරම් දුරට කෘතීම හා ක්ෂණික ආහාරපාදියෙන් වෙන් වී සිටීම තුළින් පිළිසිඳ ගන්න දරුවාගේ නීරෝගීභාවය තහවුරු වේ.මෙහීදී මව මෙන්ම පියාද සිය ශරීර සෞඛ්‍යය ,අහාර පිළිබඳ තදින්ම උනන්දු විය යුතුය.මන්ද යත්, නූතන පර්යේෂණයන්ට අනුව ශුක්‍රාණු මාස තුනක පමණ කාලයක් තිස්සේ වෘෂණ කෝෂ තුළ වර්ධිත අවස්ථාවේ පසුවේ. මේ කාලය අතුළත ශරීරයට එල්ල වන සියළුම රසායනික බලපෑම් ශුක්‍රාණු වල ගුනාත්මක භාවය වෙනස් කිරීමට හේතුවේ.මෙහි අනිසි බල පැමක් ලෙස බොහෝ විට ගබ්සා වීම්, නොමේරූ දරු උපත් ආදිය සිදුවේ.එනිසා තමාගේ රැකියාවේ ස්වභාවය (නිතර රසායනික ද්‍රව්‍යන්ට නිරාවරණය වෙනවාද) ආදිය පිළිබඳවද සැළකිය යුතුය.

දෙදෙනා විසින්ම නිවසේ කටයුතු එක්ව සහයෝගයෙන් කිරීම,නිතර අදහස් හුවමාරු කරගැනීම තුළින් අනෙකා අවබෝධ කරගැනීම, එක්ව තීරණ ගැනීම එකාකරී ජීවන රටාවෙන් මිදීම වැනි දෑ තුළින් ඔබ දෙදෙනාගේ මනස ආතතියෙන් මුදවාගත හැකිවේ.යෝග ව්‍යායාම ,පිහිනීම වැනි දෑ මේ සඳහා වඩාත් යොග්‍ය වේ.

එසේම විශේෂයෙන් සඳහන් කළයුත්තක් නම් ඔබ සූදානම් වන්නේ ලොව වඩාත් පූජනීය වූ පදවියක් ලබන්නටය.එවන් උතුම් පදවියකට සුදුසු වන අයුරින් ඔබේ ආධ්‍යාත්මයද පිරිසිදු කරගැනීම නූපන් දරුවාට කරන සත්කාර්යයකි,ගෞරවයකි.එහෙයින් ඔබ අදහන ආගමික දර්ශනයකට සමගාමිව සිදුකෙරෙන සද්කාර්යන් හා භාවනා අදිය ප්‍රගුණ කිරීමෙන් ඔබේ පුරුෂාර්ථයන් දියුණු කර ගැනීම සියල්ලන්ගේම අනාගතයට මහත් වූ ආයෝජනයකි.

No comments:

Post a Comment