Monday, September 14, 2009

ගර්භණී ලක්ෂණ , Pregnancy symptoms

ගැබ් ගත් පසු මවකගේ ශරීරය තුළින් පහළවන ලක්ෂණ එකිනෙකාට වෙනස්ය.එසේම දරුගැබෙන් දරුගැබටද එය වෙනස් වේ.වඩා වැදගත් වන්නේ මෙය අසනීපයක් නොව ස්වභාවික තත්වයක් බව තේරුම්ගෙන ඔබේත් දරුවාගේත් පෝෂණය හා ආරක්ෂව පිළිබඳ සැළකිලිමත් වීමය.
තවද මෙවැනි ගර්භණී ලක්ෂණ එකක් දෙකක් තිබූ පමණින් ඈ ගැබ්ගෙන ඇතැයි නිශ්චය කළ නොහැක.හේතුව වෙනත් රෝග තත්වයන් වලදී ද මෙම ලක්ෂණ පහළ විය හැකි බැවිනි.

මාසික ඔසප් වීම නැවතීම
ගර්භණීතවයේ මූලික ලක්ෂණය මාසික ඔසප් වීම නැවතිමයි.මෙය සෑම ගර්භණී තත්වයකටම පොදුය.
එහෙත් අධික පාන්ඩුව,ශරීරය අධික රෝගී වීමෙන් දුර්වල වූ වුට,ගර්භාශය හෝ ඩිම්බ කෝශ ආශ්‍රිත රෝග තත්වයන් වලදීද, ආතතිය,හෝමෝන වෙනස්වීම් වලදීද ඔසප් වීම නැවතිය හැකි නිසා මේ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.

උදෑසන වමනය
බොහෝ කාන්තාවන්ට උදැසන ඔක්කාරය ඇතිවන අතර සමහරෙකුට එය නොමැති අවස්ථා ද ඇත.සාමන්‍යයෙන් මෙය ගැබ් ගෙන හයවන සතියේ පටන් මාස දෙකක් පමණ බොහෝ කාන්තාවන්ට පවතින අතර සමහරුන්ට පමණක් මුළු ගර්භිණී කාලයතුළම තිබෙන අවස්ථාද ඇත.මෙය බොහෝ කාන්තාවන්ට උදේ කාලයේ ඇතිවන නමුත් දවසේ ඕනෑම වේලාවක ඇතිවිය හැක.උදෑසන පිබිදීමෙන් පසු ගිලන් වී දෙතුන් වරක් සෙම වමනය කිරීම මෙකළ දක්නට ලැබෙන අතර ඉන් පසු යථා තත්වයට පත් වේ.

නිතර මූත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවය.
ක්‍රමයෙන් වැඩෙන ගර්භයට මූත්‍රාශය තදවීම නිසා ප්‍රථම තෙමස තුළ ගර්භණී කාන්තාව නිතර මූත්‍ර පිට කරයි.එසේම ගැබ පහත් වීම නිසාද අවසන් දෙසතිය තුළ ද නිතර මූත්‍ර පහකිරීමේ අවශ්‍යතාවය ඇතිවේ.

පියයුරු වෙනස්වීම්
ගැබ් ගත් කාන්තාවකගේ පියයුරු මාස දෙකෙදි පමන පටන් විශේෂ ලක්ෂණ සහිත වේ.
එනම් පිරුනු මොලොක් ස්වභාවයක් ඇතිවීම,සම ඇදෙන සුලු වීම,පියයුරු පිරි උස් වීම හා තන පුඩු ඉදිරියට නෙරා ඒම. ඒවා ස්පර්ශයේදී මද වේදනාවක සිට ඉතා දැඩි වේදනා තත්වයක් දක්වා ඇති විය හැක, තනපුඩුව වටා සම(ඇරියෝලා)තද කලු පැහැ ගැන්වේ, තනපුඩුව වටා ඇති තද පැහැ කොටස් මොන්ටගොමරි ඉන්ට් නැමැති ග්‍රන්ථි විශේෂය ඇතිවන අතර ඒවා ඉහළට ඉලිප්පුනු කුඩා ඉදිමීම් ලෙසින් දැකිය හැකිවේ.

දැඩි මහන්සිය හා ක්ලාන්ත ගතිය
ගැබ් ගෙන සතියකට පමන පසු සමහර කාන්තාවන්ට මෙම තතවය ඇතිවන අතර පළමු තෙමස තුළ වඩාත් ඇතිවේ
රස හා සුවඳ දැනීම වෙනස් වීම
මෙම ලක්ෂනයද සමහර ගැබ්ගත් කාන්තාවන්ට පවතින අතර ආහාර ගැනීමේ පිරියක් නැතිවිම හෝ විශේෂ අහාර වර්ග වලට ආශාවක් ඇති වීමක් දක්නට ලැබේ.
එසේම යම් යම් ගඳ සුවඳට ප්‍රතිචාර දැක්වීමද වෙනස් වීමක් සමහරුන් තුළ මුල් තුන්මස හෝ ගර්භණී සමය පුරාවටම හෝ දැකිය හැක.

මළබද්ධය
මෙයද ගර්භණී සමය තුළ බොහෝ කාන්තාවන්ට ඇතිවන තත්වයකි.නිතර පානයන් ගැනිමෙන් හා කෙඳි සහිත ආහාර ගැනීමෙන් මෙම තත්වය පාලනය කරගත හැක.

කොන්ද කැක්කුම
සමහර කාන්තාවන්ට ගර්භණි බවට පත්වූ මුල් කාලයේ කොන්දේ පහළ ප්‍රදේශයේ තදබල වේදනාවක් හටගනු දක්නට ලැබේ.කෙසේ වෙතත් ගර්භණී සමය තුළ පිට කොන්දේ හා තුනටියේ වේදනාවෙන් අසීරුතාවයට පත් වීමට සෑම ගර්භණී මවකටම සිදුවේ.

හිසරදය

ශරීරයේ හෝමෝන තත්වයන් ශීඝ්‍රයෙන් වෙනස්කම් වලට භාජනය වීම නිසා මුල් ගර්භිණී සමයේදි සමහර කාන්තාවන්ට හිසරදය ඇතිවේ.වැඩියෙන් ජලය පානය කිරීමෙන් හා විවේක ගැනීමෙන් මෙම තත්වය තරමක් දුරට පාලනය කරගත හැක.

Thursday, September 10, 2009

ගැබ් ගත් බව තහවුරු කර ගැනීම සඳහා ඈති පරීක්ෂණ-Pregnancy test

මෙහි මූලික ලක්ෂණය වන්නේ මාස් ශුද්ධිය නතර වීමයි.නියමිත දිනට ඔසප් වීම සිදු නොවී නම් ටික දිනකින් මූත්‍ර සාම්පලයක් පරික්ෂා කර ගැනීමෙන් මෙය ස්ථිරවම දැන ගත හැක.
මූත්‍ර පරික්ෂණය ඔබට පර්යෙෂණාගාරයකින් හෝ ඔබටම නිවසේදිම හෝ කරගත හැක.වර්තමානයේ ඕනෑම ඖෂධ හලකින් පහසුවෙන් අඩු මුදලකට මෙවැනි පරීක්ෂණ කට්ටල ලබා ගත හැකි අතර ඉතා ඉක්මනින් ගර්භණීභාවය තහවුරුකරගත හැකිවේ.

මෙවැනි පරික්ෂණ කට්ටලයක් මිලදී ගැනීමකට පෙර එය හොඳින් පරික්ෂා කර බලා මිලදී ගැනීම වැදගත් වේ.එහි කාලය ඉකුත් වීමේ දිනය,පළුදුවීම් තිබේද? වැනි දේ පිළිබඳ සැලකිළිමත් විය යුතුය.එසේම එහි ප්‍රතිඵල පහසුවෙන් තේරුම් ගත හැකිද යන්න පිළිබඳවද සැළකිළිමත් විය යුතුය.
ගැබ් ගත් මුල් දිනදෙක තුන තුළදී මෙවැනි පරික්ෂනයකින් 100%ක්ම සාර්ථක ප්‍රතිපල ලබාගත නොහැකිය . හේතුව හෝමොන වෙනස් වීම සිදුවන්නේ ක්‍රමක්‍රමයෙන් වීම නිසයි.කෙසේ වෙතත් සතියකින් පමණ පසු මූත්‍ර පරික්ෂා කිරීමෙන් ඉතා පෑහෑදිලි ලෙස ප්‍රතිඵල දැකගත හැක.

වෙළඳපොළේ බහුලව දක්නට ඇති ගර්භණීතාව පරීක්ෂණ කට්ටල. (pregnancy test kit)

ඔබ කුමන පරීක්ෂණ කට්ටලයක් මිලදී ගත්තද එහි ඈති උපදෙස් හොඳින් කියවා ඒ අනුව කටයුතු කිරීමට වගබලා ගන්න.

ගර්භණීතාවය පරික්ෂණ පටය (pregnancy test strip)

මෙය ලංකාවේ බොහෝ ඔසුසැල් වලින් මිළදී ගත හැකි, ඉතා පසහුවෙන් පාවිච්චි කළ හැකි පරික්ෂණ කට්ටලයකි.මෙහි ප්ලාස්ටික් තීරුව පෑත්තෙන් අල්වාගෙන පිරිසිදු බදුනකට ගත් ඔබේ මූත්‍රා සම්පලය තුළට මුත්‍ර අවශෝෂක පැත්ත (අනෙක් පැත්තා වි.3ක් බහා තබන්න.මෙහිදී ඊතලයෙන් ඉහළට දක්වා පටය නොදැමීමට වගබලා ගන්න.ඉන්පසු ව්.5ක් හරස් අතට පිරිසිදු වියලි මතුපිටක තබන්න.

ඔබ ගැබ් ගෙන ඇත්නම් මූත්‍ර අවශෝෂක පැත්තේ හරස් අතට රතුපැහැ තීරු දෙකක් මතු වී තිබෙනු දක්නට ලැබේ.
මෙලෙස නිවසේදි කරන ලද පරික්ෂණයෙන් ඔබ ගැබ් ගෙන ඇති බව තහවුරු වුවහොත් වහාම ඔබ තෝරගෙන සිටින වෛද්‍යවරයා හමුවන්න. එවිට ඔහු තවදුරටත් ඒ පිළිබඳ ඔබව පරික්ෂාකර ගැබ් ගෙන ඇති බවට තහවුරු කරනු ඇත.එසේම ඔබගේ හා කලලයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය උපදෙස් මෙන්ම විටමින් වර්ග ද අවශ්‍ය නම් ලබාදෙනු ඇත.
එපමණක් නොව ඔබ ප්‍රදේශයේ සිටින පවුල් සෞඛ්‍ය නිළධාරිණියටද මේ බව දැනුම් දීමට පමා නොවන්න.එවිට ඇය ඔබ නියමිත සායන වලට යොමු කරනු ඇත.එසේම ගර්භනීසමය තුළ වරින් වර නිවසටම පැමිණ ඔබ පරික්ෂා කර බලා අවශ්‍ය උපදෙස් ලබදී ඔබ වෙනුවෙන් වටිනා සහයෝගයක් ලබාදෙනු ඇත.

Sunday, September 6, 2009

දරු පිළසිඳ ගැනීමක් සඳහා සුදුසුම ලිංගික ඉරියව්ව

දරු පිළසිඳ ගැනීමක් සඳහා වඩාත් සුදුසු හා සුවිශේෂ වූ ලිංගික ඉරියව්ව මෙයයි කියා නිෂ්චිතව පැවසිය නොහැක.
පුරුෂයා ගැහැනියගේ සිරුර මත හිඳ සංසර්ගයේ යෙදීම වැනි ලිංගික ඉරියව් මගින් ශුක්‍රාණු වැඩි ප්‍රමාණයක්
ගර්භාෂයේ ග්‍රීවය දක්වා රැගෙන යාම වඩාත් පහසු කරන නිසා එවැනි ලිංගික ඉරියව් දරු පිළසිඳ ගැනීමකට වඩාත් යෝග්‍ය වේ.

සංසර්ගයේ යෙදෙන විට සහකාරියගේ උකුල යටින් කොට්ටයකත් තැබීම මගින් ගැබ්ගෙල වෙත වැඩි ශුක්‍රානු ප්‍රමාණයක් ඇතුළුවනවා මෙන්ම ඒවා වැඩි වේලාවක් එහි රඳවා තබා ගැනීමටද හැකි වේ (විනාඩි 20ක් හෝ).
මෙය මගින් ශුක්‍රාණු වලට ඉතාමත් ලෙහෙසියෙන් ගැබ් ගෙල හරහා පිහිනා යාමට අවස්ථාව සැලසේ.
(සැ.යු. විශාල ප්‍රමාණයේ කොට්ටයක් භාවිතා නොකරන්න, මන්ද ශුක්‍ර තරලය ගැබ්ගෙල හරහා ගලා නොගොස් මග රැ‍ෙඳෙන නිසා ඩිම්බ සෛල හා එක් නොවේ. එය ඔබ ඔබගේ ව්‍යායාමය නිස්කාරනේ කඩාකප්පල් කර ගැනීමකි)
එසේම ලිංගික එක්වීමකින් පසු කාන්තාව විනාඩි 15ක් පමණ හරස් අතට හාන්සී වී සිටීමෙන් ශුක්‍ර ධාතු පිටතට නොගොස් ඇතුළට ගමන් කරයි.

Wednesday, September 2, 2009

ඔබ කායිකව සූදානම්ද?Are you physically ready?

දරුවෙක් බලාපොරොත්තුවන ඔබ දෙදෙනාම ගර්භිණීතාවයට පෙර තම ශරීර සෞඛ්‍යය ඊට සුදුසු මට්ටමක තිබේදැයි සළකා බැලීමෙන් ගැබිනි සමයේ හා පසුව ඇතිවන අනවශ්‍ය සංකුලතා මඟහරවා ගත හැකිවේ.

සහකරු තෝරා ගැනීමේදී සැළකිළිමත් වන්න.........
විශේෂයෙන් විවාහයට පෙර සිටම තම සහකරු තොරා ගැනීමේදී සැලකිලිමත් විම තුළින් රෝගී හා විකෘති දරුවන් බිහිවීම වළක්වා ගත හැක.ලේ නෑකම් ඇති පුද්ගලයන් අතර විවාහය දරුවන්ගේ අසාමාන්‍යතා ඇති වීමට සුලභ හේතුවක් ලෙස ගැනේ.
ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ දැනුවත් වන්න.....
මව මෙන්ම පියා යන දෙදෙනාගේම මනා වූ ශරීර සෞඛ්‍යය නීරෝගි දරුවෙකු සඳහා බලපාන කරුණකි.එනිසා විවාහ වූ විගසම ඔබ දරුවෙකු බලපොරොත්තු නොවූවද ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිනිය හමුවී තමන් ගේ දරු සැළසුම හා ඒ සම්බන්ධිත ගැටළු සාකච්ඡා කළ හැක. එමෙන්ම දෙදෙනාම අඹු-සැමි සබඳතාවය,දරුවන් පිළිසිඳගැනීම හා ආර්ථව චක්‍රය,උපත් පාලනය ගැන සාමන්‍ය දැනුමක් හෝ තිබීම වැදගත් වන හෙයින් මේ පිළිබඳවද ඇයගෙන් කරුණු විමසා දැනගත හැක.

නැතහොත් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කර ඔබට පූර්ව සූදානමක් අවශ්‍යද නැද්ද යන සැක හැර දැන ගැනීම වැදගත්ය.විශේෂයෙන් ඔබගේ පූර්ව සෞඛ්‍ය පසුබිම එනම්,දරුණු රෝග,සැත්කම් හා ආසාධිත තත්වයන් පිලිබඳ නොවළහා කීමෙන් අවශ්‍ය වන්නේ නම් ඔබ යම් යම් වෛද්‍ය පරික්ෂණ සඳහා යොමු කෙරෙනු ඇත.

රුබෙල්ලා හා වෙනත් එන්නත් ලබා ගැනීම .............


මවක් වීමට බලාපොරොත්තුවන ඔබට කුඩා වයසේදී හෝ රුබෙල්ලා වැළදී ඇතිබව නොදන්නේ නම් හෝ ඊට ප්‍රතිජීවක ඖෂධ ලබාගෙන තිබේද යන්න රුධිර පරික්ෂණයකින් පහසුවෙන් දැනගත හැක.
ගර්භිණී සමයේ රුබෙල්ලා වැළදීමෙන් දරුවාට දරුණු විකෘතිතාවයන් ඇති විය හැක.එනම්,අන්ධ වීම, ශ්‍රවණාබාධ ඇතිවීම,හදවත් රෝග හා මොළයේ වර්ධනනයේ අඩුපාඩු මින් ප්‍රධාන වේ. එනිසා අනාගතයේ ඉපදීමට නියමිත ඔබේ බිළිඳා මෙවැනි දරුණු ආබාධ වලින් වළක්වා ගැනීමට රුබෙල්ලා එන්නත නිසි කළට ලබා ගැනීම වැදගත්ය.ලංකාවේ පාසල් යන සියළුම ගැහැනු ලමයින්ට රුබෙල්ලා එන්නත නොමිළේ ලබාදීමේ වැඩසටහන් රජයේ මට්ටමෙන් ක්‍රියාත්මක වන අතර යම් හෙයකින් ඔබට ඒ අවස්ථාව මඟහැරී ඇත්නම්,පවුල් සෞඛ්ය නිළධාරිනියගෙන් හෝ ළඟම ඇති රජයේ රෝහලකින් ඒ පිළිබඳ විමසා නියමිත දිනයකදී එය ලබා ගත හැක.එහිදී එන්නත ලබාගෙන අඩු ගනනේ මාස 3ක් යනතෙක් දරු පිළිසිඳ ගැනීමකට නොයා යුතු බව වෛද්‍ය මතයයි.
මේ හැර කම්මුල්ගාය,පැපොල වැනී රෝග නිසාද ගර්භිණී කාන්තාවකගේ කුසේ සිටින දරුවාට හානි ඇතිවිය හැක.ඒනිසා එවැනි රෝගවලින් මිදීම සඳහා ඇති එන්නත් පූර්ව ගර්භිණි සමයේ ලබාගැනීම කළ යුතුය.

ෆෝලික් අම්ලය ලබා ගැනීම ඉතා වැදගත්ය...............
දරුවෙක් බලපොරොත්තුවන කාන්තාවක් අඩුගනනේ පිළිසිඳගැනීමකට තුන්මසකට පෙර සිට හෝ ෆොලික් අම්ලය ලබාගැනීම කළයුතුය.පිළිසිඳ ගත් මුල් සති කිහිපය තුළ සිදුවන දරුවාගේ මොළයේ වර්ධනයට හා ස්නායු පද්ධතියේ වර්ධනයට මෙය අත්‍යවශ්‍ය සාධකයක් වන අතර පූර්ව ගර්භිණී සමයේදී එය මවගේ ශරීරයේ රැස්කර තබාගැනීම ගැබ්ගත් පසු ෆොලික් අම්ලය ලබා ගන්නවාට වඩා ප්‍රතිඵලදායකය.පහසුවෙන් ඕනෑම ඔසුසලකින් ලබාගත හැකි මෙය කාන්තවකට දිනකට 0.4g අවශ්‍ය වේ.එනිසා දිනකට එක් පෙත්තක් ලබාගැනීම සෑහෙන අතර විටමින්වර්ග සමගද මෙය ලබගතහැක.ස්වභාවික කොළපැහැති පලා වර්ග,දොඩම්, කෙසෙල් වැනි පළතුරු වල, කිරි,ධාන්‍ය හා මාංශ ආහාරවලින්ද ෆොලික් අම්ල විටමිනය ලබාගතහැකි නමුත් ශරීරයට අවශෝෂණය වන්නේ 50%ක් පමණී.එනිසා කෘතීමව සැකසූ විශේෂ ආහාර ,කිරි පිටි හා පෙති වශයෙන් ගැනීම පූර්ව ගර්භණී සමයේ සිටම කළ යුතුය.
නියමිත පරිදි ශරීර බර පවත්වාගෙන යන්න......
උසට ගැළපෙන පරිදි බරක් තබා ගැනීම හෙවත් BMI අගය 20-25ත් අතර මට්ටමක පවත්වාගෙනයාම පූර්ව ගර්භිණී සමයේදී කළයුත්තකි.BMI අගය ලබගැනීමට ඔබේ බර උසින් බෙදිය යුතුය. අඩු බර මෙන්ම අධික තරබාරු වීමද ගැබ් නොහැනීමට මෙන්ම, ගර්භිණී සමයේදී විවිධ සංකුලතා ඇති වීමට හේතුවෙයි.අධික තරබාරුව නිසා ගර්භිණී සමයේදී දියවැඩියාව,අධි රුධිර පීඩනය වැනි තත්වයන්ද,අඩු බර නිසා දරුවාගේ වර්ධන බාල වීම හා අඩුබර දරු උපත් ආදීය තත්ව ඇතිවේ.එනිසා දරුවෙක් බලාපොරොත්තුවන කාන්තාවක් පිළිසිඳ ගැනීමකට පෙර අහාර හා ව්‍යායාම තුළින් තම බර නිසි ලෙස පවත්වා ගැනීමට උනන්දු වීම අත්‍යවශ්‍යය.

දෙදෙනාම තම ආහාර ගැන සැළකිළිමත්වන්න......


දරුවෙකු බලාපොරොත්තුවන යුවලක් පිළිසිඳගැනීමකට පෙර සිටම සමබල අහාර වේලක් ගැන උනන්දු වියයුතුය.මෙහිදී පියා, නිරෝගී හා ගුනාත්මක ශුක්‍රාණු ඇති කර ගැනීමට ද මව නියමිත ශරීර බරක් පවත්වා ගැනීමට හා ගර්භණී සමයේදී දරුවට මනා පෝෂණයක් ලබා දීමටත් තම නීරෝගීබව ආරක්ෂා කර ගැනීමටත් පෙරට වඩා තම ආහර ගැන සැළකිළිමත් විය යුතුය.

මෙහිදී මිල අධික ආහාර වලට වඩා පහසුවෙන් ලබාගත හැකි ස්වභාවික එළවළු,පළතුරු හා පළා වර්ග මස් මාළු,කිරි බිත්තර තුළින් ලැබෙන පෝෂණය ඉහළ මට්ටමක පවතී.තවද කොළ කැඳ ,කොස්, පොළොස් වැනි ආහාර වල පෝෂණීය තත්වය ඉහළය.පුර්ව ගර්භිණී සමයේ දීම කෘතීම රසකාරක යෙදු අහාර,ටින් කළ කැම වර්ග, ක්ෂණික ආහාර,චීන අහාර ආදිය ඔබ වෙනුවට දෙදෙනාම නැවුම් එළවළු පළතුරු හා බීම වර්ග පිළිබඳ සැළකිළිමත් විය යුතුය.තවද ඔබ අධික ලෙස තේ හෝ කෝපි බීමට හුරු වී සිටින්නේනම් එයින්ද මිදිමට වගබලාගත යුතුය.එහි ඇති කැෆේන් දරුවාගේ වර්දනයට අහිතකර වන බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබේ.ඒ වෙනුවට විකල්පයන් ඔබට සොයා ගත හැක.එළවළු පළතුරු හා දේශීය පානවර්ග අඩු මුදලකට ඔබට සොයා ගත හැක.මෙහිදී දේශීය පාන වර්ග ගැනීමට පෙර ඒ පිළිබඳ දැනුවත් වී භාවිතා කිරීමට වගබලා ගතයුතුය.

දුම්බීම හා මත්පැන් භාවිතයෙන් වළකින්න.....
ඔබ දෙදෙනාම මත්පැන් හා දුම්බීමට හුරුවී සිටින්නේ නම් එයින් ගැබ්ගැනීමකට පෙර සිටම එයින් මිදිය යුතුය.දුම්පානය හා මත් ද්‍රව්‍ය භාවිතය නිසා පුරුෂ ශුක්‍රාණුවල වල මද සරු භාවය ඇතිවීමට හා විවිධ දෝෂ ඇති වීමටත් දුම්පානය හා සිදුවන බව සනාථ වී ඇති නිසා පියෙකු වීමට බලපොරොත්තු වන ඔබ ඔබෙ නූපන් දරුවා වෙනුවෙන් මෙම පුරුද්දෙන් මිදීමට උත්සහ ගත යුතුය.
මවක් විමට පතන ඔබද මත්පැන් හා දුම්පානය සම්පූර්ණයෙන්ම අත් හළයුතුය.මධ්‍යසාර මගින් විකෘති දරුවන් හා දුම්පානය නිසා අඩුබර සහිත දරුවන් හා නොයෙකුත් සංකුලතවන් ඇති වේ.
නිවසේ දුම්පානය කරන අයෙක් වේ නම් මවක් වීමට සිටින ඔබටද එම දුම් ආග්‍රහණය වන හේන් ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කරන්න.

ඔබදෙදෙනාගෙන් එක් අයෙක් හෝ මෙවැනි මත් ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටින්නෙ නම් ඉන් මිදීමට ඔබේ වෛද්‍ය වරයා හෝ උපදෙශකයකු වෙත යාමට මැලි නොවන්න.

දිගු කාලිනව රෝගයකට බෙහෙත් බොන්නේ නම් ඒ පිළිබඳ වෛද්‍යවරයාට පවසන්න...........
ඔබදෙදෙනාගෙන් අයෙකු යම් රෝගයකට දීර්ග කාලීනව ප්‍රතිකාර ලබන අයෙක් නම් ඒ ගැන ඔබේ වෛද්‍යවරයා හා පවසන්න.විශේෂයෙන් මෙහිදී කාන්තාව තමා ගැබ් ගැනීමට පෙර මේ පිළිබඳ ඉතාමත් සැළකිළිමත් වියයුතුය.ඊට හේතුව නම් සමහර රෝග මනා ලෙස පාලනය කර ගැබ්ගැනීමෙන් නීරෝගී දරුවෙකු බිහිකළ හැකිවීමයි.එසේම දිගු කාලිනව ගන්නා සමහර ඖෂධ ගැබ් ගැනීමෙන් පසු කළලයට හානි විය හැකි නිසා ඊට පෙර සිට සූදානම් විය හැක.එවැනි ඖෂධ වෙනස් කිරීමට වෛද්‍ය උපදෙස් ලබගත යුතුය.


  • දිය වැඩියාව....
දිය වැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවක් ගැබ් ගැනීමකට අවම වශයෙන් මාස දෙකකට පෙර සිට හෝ රුධිරයේ සීනි මට්ටම පාලනය කරගත යුතුය. එසේම ඇය ගැබ් ගත් පසුවද ඉන්සියුලින් එන්නත මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමෙන් ගර්භනී කාලයේ ඇතිවිය හැකි හානි අවම කර ගත හැක.
  • අපස්මාරය......
අපස්මාරය වැනි තත්වයකින් පෙළෙන්නේ නම් එය පාලන කර ගැනීමෙන් අනතුරුව දරුවෙකු පිළිසිඳ ගැනීමකට සිතිය යුතුය.මේ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යය.
ඔබ අපස්මාරයට කලක් සිට ඖෂධ ගන්නේ නම් දරුවෙකු බලපොරොත්තුවන විට වෛද්‍ය උපදෙස්මත ඖෂධ මාත්‍රාව හා වර්ගය වෙනස් කල යුතුය.හේතුව අපස්මාරයට ගන්නා සමහර ඖෂධ මගින් කළලයේ විකෘතිතා ඇති විය හැකි බැවිනි.එහෙත් එක් වරම ප්‍රතිකාර නතර කළහොත් එමගින් මවත් දරුවාත් අවධානමකට ලක් විය හැක.
  • ඇදුම.....
ඇදුම රෝගී කාන්තාවක් ද දිගටම ප්‍රතිකාල ලබාගත යුතු අතර ඇයට INHELER ඖෂධය භාවිත කළ හැක.
  • හදවත් රෝග........
මවක් වීමට පතන ඔබ හදවත් රෝගයකින් පෙළෙන්නේ නම් ඒ පිළිබඳ වෛද්‍යවරයා හා සාකච්ඡා කිරීම අත්‍යවශ්‍යවේ.
එයට හේතුව, සමහර හදවත් රෝග වලදී ගර්භිණී තත්වය අනතුරුදායක වනා හෙයිනි.
  • අධික රුධිර පීඩනය........
ඔබ අධි රුධිර පීඩනයට ඖෂධ ගන්නේ නම් පූර්ව ගර්භිණී සමයේ සිටම එම ඖෂධ ගැන වෛද්‍යවරයා හා සාකච්ඡා කර වෙනස් කරගත හැක.ඇතැම් ඖෂධ ගර්භයට අහිතකර නිසාය.

  • මානසික ආබාධ......
මෙවැනි කාන්තාවන් ද ගැබ් ගැනීමට පෙර එම තත්වයන් සුව කර වෛද්‍ය උපදෙස් මත පමණක් දරුවෙකු පිළිබඳ සිතිය යුතුය.


මානසික ආතතයේන් මිදෙන්න.....

ගැබ් ගැනීමකට පෙර සිටම දෙදෙනම මානසික ආතතියෙන් මිදී සැහැල්ලුවෙන් සිටීමෙන් කායික නීරෝගීබවට එය ඉවහල්වනු ඇත.එමෙන්ම වඩා යහපත් හා ප්‍රිතීමත් සම්බන්ධතාවයක් දෙදෙනා අතර ඇතිවීමටත් මෙය වැදගත් වේ.