Wednesday, August 12, 2009

ඔබ ආර්ථිකව සූදානම්ද?Are You Financially Ready?

වර්තමාන ජීවන රටාව අනුව දරුවෙකු වෙනුවෙන් කළ යුතු යුතුකම් හා වගකීම් හමුවේ තරමක ශක්තිමත් ආර්ථික තත්වයක් තිබීම වඩාත් පහසුය.එහෙයින් විවාහපත් දා සිටම ඒ සඳහා පෙර සුදානමක් තිබිය යුතුය.

ගර්භිණී සමයේ සිටම, සෑම දෙමවුපියෙකුම තම දරුවා වෙනුවෙන් දෙවරක් නොසිතා හැකි ඉහළින්ම වියදම් කිරීමට කැමති බව නොරහසකි.ඒ සඳහා ඔබට ඇති තරම් මුදල් ලැබෙන ආකාරයේ ආර්ථික රටාවක් තිබේනම් කම් නැත.එහෙත් ලංකාව වැනි තුන්වන ලොකයේ රටක නම් බොහෝ දෙනෙකුට මධ්‍යම ප්‍රමාණයේ ආර්ථික ශක්තියක් ඇති බැවින් එලෙස හිතූමතේ වියදම් කළ නොහැක.ඒ නිසා මුල සිටම ඒ වෙනුවෙන් යම්කිසි මුදලක් වෙන්කර තබා ගැනීම දෙදෙනාටම පහසුය.එසේම සමාජ රැල්ලට හසු නොවී, තමන්ගේ සැබෑ ආර්ථික පසුබිමට අනුව හැඩ ගැසීමට පුරුදුවිම නුවනට හුරුය.මෙහිදී පෞද්ගලික සායනයකට ගොස්, පසුව පෞද්ගලික රෝහලක අධික මුදලක් ගෙවා තම දරුවා බිහිකිරීම වඩාත් යෝග්‍යයැයි බොහෝ දෙනා සිතන මුත් ලංකාවේ රජයේ රෝහලකින් ද ඒ සියළුම කාර්යයන් ඉතා වගකීමකින් යුතුව නොමිළේම ලබාදේ.එහිදී බොහෝ විට ඇතිවන අවධානම් තත්වයෙන්ද ඔබට මිදිය හැක.ඒ නිසා පෞද්ගලික අංශයට යොමුවීම අත්‍යවශ්‍ය දෙයක් නොවන අතර ඔබ තෝරාගන්නා ප්‍රසව හා නාරි වෛද්‍යවරයා පිළිබඳ කලින් තීරණය කරගෙන සිටිම ද පහසුය.

දරු ප්‍රසූතියට පෙර සාප්පුසවාරී යාමද සුන්දර අත්දැකීමකි.ඔබේ නූපන් දරුවා වෙනුවෙන් වටිනාම දේ හා දකින බොහෝ දේ මිළදී ගැනීමට ඔබට සිතෙනු ඇත.එහෙත් අත්‍යවශ්‍යතවයන් හඳුනා ගෙන ඊට මුල් තැන දීමට ඔබ මුල සිට හුරුවීම වැදගත්ය.

Tuesday, August 11, 2009

ඔබ මානසිකව සුදානම්ද.........? Are You Emotionally Ready


ඔබ මානසිකව සුදානම්ද.........?
දරුවෙකු පිළිබඳ ඔබගේ හැඟීම කුමක් වුවත් බිළිඳු සිනහවකට ඒ සියල්ල මායාකාරී ලෙස අවනත වීම ස්වභාවිකය.නමුත් දරුවා ඔබගේ කුසතුළට පැමිණුන දා පටන් ඔහුට /ඇයට ඔබගේ සිතුවිලි මානසික තත්වයන් බලපාන බැවින් නිරවුල් මනසක් සඳහා අවශ්‍යය පසුබිම සකසා ගැනීම වැදගත්ය.
ඔබ දෙදෙනාම සැබැවටම දරුවෙක් බලාපොරොත්තු වන්නෙද යන්න මූලිකව විසඳා ගත යුතුය.නැතහොත් දෙමාපියන්හේ,සමාජයේ කීමට හෝ වයස නිසා ,වෙනත් අවශ්‍යතා නිසාදරුවෙකු අවශ්‍යය යැයි සිතන්නේද?ඔබ මවක පියෙකු වූ දා පටන් ඔබගේ ජීවිතය විශාල ලෙස වෙනස් වන්නට වේ.ඔබගේ නිදහස, විවේකය, විනෝදාංශ මෙන්ම නින්ද, අධ්‍යාපනය, සමාජීය ජීවිතය යම් යම් ආකරයකින් දරුවා වෙනුවෙන් කැප කිරීමට සිදුවේ.සමහර විට මවකට නම් තම රැකියාව පිළිබඳවද දෙවරක් සිතිය යුතුවේ.මෙවැනි තත්වයන් යටතේ ඔබට මානසික පීඩනයකින් (Stress)තොරව සතුටින් සිතීමට නම් ඔබ දෙදෙනාම සැබවින්ම දරුවෙකු බලාපොරොත්තු විය යුතුය.

තවද බිරිඳ සැමියා ලෙස ඔබ දෙදෙනාගේ අන්තර් සම්බන්ධතාවය කෙතරම් ගැඹුරුද, ස්ථිර වූ ද යහපත් වූ ද පවුල් ජීවිතයක් ඔබ දෙදෙනාතම තිබේද යන්න වටහා ගෙන සිටීම තුළින් ගර්භිණී සමයේ හා ඉන්පසු දරුවාට මනා කායික මානසික රැකවරනයක් දීමට ඔබට හැකි වේ.කුසතුළ සිටින ඔබගේ දරුවාට සිය දෙමාපියන් අතර ඇති සෙනෙහස ලෙන්ගතුබව හොඳින්ම දැනේ.එසේම තදින්ම බලපායි.ඉන් මානසික ආතතිය තුළින් දරුවාට වන විපත් මඟ හැරී ඔඅහු/ඇය මනා පෞරුෂයකින් යුතු වේ.

එසේම පිළිසිඳ ගැනීමකට පෙර සිටම ඔබ දෙදෙනාම චර්යාමය වෙනසක් ඇති කර ගැනීම වැදගත්ය.ඉතා අවධාරණයෙන්ම කිවයුත්තක් නම්, අඩු ගනනේ මාස තුනකට පෙර සිට හෝ මව මෙන්ම පියාද එකසේ මත්පැන්, මත් ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතයෙන් සම්පූර්ණයෙන් මිදිය යුතුවේ.නැතහොත් ගබ්සාවීම්, අංගවිකල දරුවන් ඉපදීම, අඩු බර දරු උපත් හා වෙනත් විවිධ ආබාධ සහිත දරුවන් බිහිවිය හැක.

එසේම පෝෂ්‍යදායි ආහාර රටාවකට හුරුවීම හා හැකිතරම් දුරට කෘතීම හා ක්ෂණික ආහාරපාදියෙන් වෙන් වී සිටීම තුළින් පිළිසිඳ ගන්න දරුවාගේ නීරෝගීභාවය තහවුරු වේ.මෙහීදී මව මෙන්ම පියාද සිය ශරීර සෞඛ්‍යය ,අහාර පිළිබඳ තදින්ම උනන්දු විය යුතුය.මන්ද යත්, නූතන පර්යේෂණයන්ට අනුව ශුක්‍රාණු මාස තුනක පමණ කාලයක් තිස්සේ වෘෂණ කෝෂ තුළ වර්ධිත අවස්ථාවේ පසුවේ. මේ කාලය අතුළත ශරීරයට එල්ල වන සියළුම රසායනික බලපෑම් ශුක්‍රාණු වල ගුනාත්මක භාවය වෙනස් කිරීමට හේතුවේ.මෙහි අනිසි බල පැමක් ලෙස බොහෝ විට ගබ්සා වීම්, නොමේරූ දරු උපත් ආදිය සිදුවේ.එනිසා තමාගේ රැකියාවේ ස්වභාවය (නිතර රසායනික ද්‍රව්‍යන්ට නිරාවරණය වෙනවාද) ආදිය පිළිබඳවද සැළකිය යුතුය.

දෙදෙනා විසින්ම නිවසේ කටයුතු එක්ව සහයෝගයෙන් කිරීම,නිතර අදහස් හුවමාරු කරගැනීම තුළින් අනෙකා අවබෝධ කරගැනීම, එක්ව තීරණ ගැනීම එකාකරී ජීවන රටාවෙන් මිදීම වැනි දෑ තුළින් ඔබ දෙදෙනාගේ මනස ආතතියෙන් මුදවාගත හැකිවේ.යෝග ව්‍යායාම ,පිහිනීම වැනි දෑ මේ සඳහා වඩාත් යොග්‍ය වේ.

එසේම විශේෂයෙන් සඳහන් කළයුත්තක් නම් ඔබ සූදානම් වන්නේ ලොව වඩාත් පූජනීය වූ පදවියක් ලබන්නටය.එවන් උතුම් පදවියකට සුදුසු වන අයුරින් ඔබේ ආධ්‍යාත්මයද පිරිසිදු කරගැනීම නූපන් දරුවාට කරන සත්කාර්යයකි,ගෞරවයකි.එහෙයින් ඔබ අදහන ආගමික දර්ශනයකට සමගාමිව සිදුකෙරෙන සද්කාර්යන් හා භාවනා අදිය ප්‍රගුණ කිරීමෙන් ඔබේ පුරුෂාර්ථයන් දියුණු කර ගැනීම සියල්ලන්ගේම අනාගතයට මහත් වූ ආයෝජනයකි.

දරුපිළිසිඳගැනීමකට පූර්ව සූදානම Getting Ready for Pregnancy

කාන්තවක් හා පුරුෂයෙකුගේ කායික මෙන්ම මානසික වූ ආධ්‍යාත්මික බන්ධනය තුළින් සිදුවන දරු උපත සියළු විශ්වීය සන්තානයනට වඩා අතිශයින්ම උතුම් වූ ද සුන්දර වූ ද ක්‍රියාවලියකි.මිනිසෙකුගේ තුළින් අවශ්‍ය බීජ ලැබ සිය බීජ හා මුසු කොට ලෝකයේම තවත් එක් කොටසක් තම රුධිරය හරහා ගර්භාශයෙහි පෝෂණය කර නව ජීවියෙකු ලෙස මෙලොවට දායද කළ හැක්කේ ගැහැණියකට පමණි. නොනවතින්නා වූ විශ්වීය ගමනේදී මව් පියන් ලෙස ඔබ අභිසෙස් ලබන්නේ දරුවා නම් වූ ශුද්ධ වස්තුව තුළිනි..............

ඔබගේ ජීවිතයේ භාග්‍යවත්ම අවස්ථාව දෙමවු පියන් වීම බව නොරහසකි.එසේ නම් ඔබ දෙදෙනාම ඒ සඳහා පෙර සුදානමක් තිබීම වැදගත්ය.නීරෝගි බුද්ධිමත් දරුවෙකු ලබාගැනීමට ඔබ දෙදෙනාම ඔබගේ කායික ,මානසික හා ආර්ථික හැකියාවන් පිළිබඳ මනා අවබෝධයකින් සිටීම වැදගත්ය. එසේම මවක පියෙකු ලෙස සාර්ථක වීමට ගර්භණීසමය තුළ හා ඉන් පසු ඔබට මුහුණ දීමට සිදුවන අභියෝග මෙන්ම වගකීම් පිළිබඳවද දෙදෙනාමටම මනා වැටහීමක් තිබිය යුතුය.

ගැබ් ගැනීමේ හැකියව ඇති "සරු" කාලය Fertilization Period


වැඩිවියට පත් වු කාන්තාවකට මසකට වරක් ආර්තවය සිදුවේ.සාමන්‍යයෙන් ආර්තවය ආරම්භ වී දින 14ක්,16 පමණ යන විට ඩිම්භය පිට වීම සිදුවේ.මෙම දින කිහිපය තුළ සංසර්ගයක් සිදුවුවහොත් ගැබ් ගැනීමක් ඇතිවීමට හැකියාව තිබේ.ඩිම්භයක් පිට වූ පසු එය හොඳ තත්වයේ පවතින්නෙ දින දෙකක් පමණ කාලයකි ශුක්රාණුවකටද ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල සජීවීව පැවතිය හැක්කේ පැය 48ක කාලයකි.මේ අනුව පැලෝපීය නාලය තුළ ඩිම්බ සංසේචනය වීමට ඇති හැකියාව දින 4කි. කෙසේ වෙතත් ආර්තවය සෑදුනු දින සිට දින 7කින් පසු දින සිට දින 12ක් පමණ කාළය "සරු"කාලය හෙවත් ගැබ් ගැනීමේ හැකියව පවතින කාලය ලෙස හැඳින්විය හැක.

Saturday, August 8, 2009

ගැබ් ගැනීම ( Fertilization )

ලිංගික සංසර්ගයකදී ශුක්රධාතුව යෝනි මාර්ගයට මුදා හැරුණු විට ශුක්ර බීජයක් ක්රමයෙන් ගර්භාෂයට ඇතුළු වී එහි ඉහළ කොටසේ ඇති පැලෝපීය නාළයකට ඇතුළුවේ.මෙ අවස්ථාවෙදී පැලෝපීය නාළය තුළ ඩිම්භයක් තිබුනේ නම් සංසේචනය වී දාරකෝත්පත්ති බීජය හෙවත් යුක්තානුවක් නිපදවේ. මෙහිදී සෛල විභේදනය ආරම්භ වේ. මෙම යුක්තානුව ක්රමයෙන් ගර්භාශය කරා පැමිණෙන්නේය. (එසේ නොපැමිණියහොත් පැලෝපීය නාළය තුළ කළලය වර්ධන වේ.(Tubal pregnancy))

මෙම යුක්තනුව හටගත් කළ ගර්භාශයේ ඇතුළු සිවිය (Endometrium) අඟල් 1/2 ක් පමණ ඝන වේ(Decidua).දින තුනක් පමණ ගර්භාෂය තුළ පාවෙමින් පැවති යුක්තානුව ගර්භාෂ බිත්තියෙහි ඇතුළු සිවිය සිදුරුකොට ඇතුළට වද ඇලී අධිරෝපණය වේ.මෙය දරුවකු පිළිසිද ගැනීම වේ..බීජය සම්පූර්නයෙන් ඇතුළු වූ පසු ඉන් ඇති වූ සිදුර වැසී යයි.සිවිය තුළ තැම්පත් වූ බීජයද ලෙයින් ගැවසීගත් කුහරයකට වැදි වේගයෙන් වැඩෙන්නට පටන්ගනී.සති හතරකට පමණ පසු මෙම බීජය සිවි දෙකකින් යුතු වේ.එනම් පිට සිවිය වන කොරියම (Chorion) හා ඇතුළු සිවිය කලලාවාරික පටලය(Amnion) යනුයි.එහි පිට සිවිය අවට සියුම් ලෝම වැනි තුඩු රැසක් (Chorionie Villi)ඇතිවේ. මෙම තුඩු ගර්භාශයේ මහත් වූ ඇතුළු සිවිය (Decidua) සහ එහි පිහිටි රුධිර නාළ සිදුරු කොට කුහරයක් සැදී එහි ඇතිවන මවගේ රුධිරයෙන් කළලයට අවශ්‍ය මනා පෝෂණය ලබා ගනී.බීජය වර්ධනය වන විට ගර්භාශයේ කුහරය දෙසට වන් තුඩු ක්‍රමයෙන් කුඩා වී නැතිවී යයි.නමුත් ගර්භාශයේ මස් වැදලි දෙසට යොමු වූ තුඩු ක්‍රමයෙන් වර්ධනය වී එම පෙදෙසෙහි වූ සිවිය හා සම්බන්ධවී තුන්මසකින් වැදෑමස,කළල බන්ධය (Placenta) සම්පූර්ණ ලෙස සැදෙන්නෙය.කළල බන්ධයත් කළලයත් පෙකනිවැලෙන් සම්බන්ධ වේ. සති 6ක් පමණ වූ කළලය භ්රෑණය නම් මේ වන විට ගර්භාශය සම්පූර්ණයෙන්ම කළලයෙන් පිරී පවතී.ගැස්සීම් හා කම්පනයන්ගෙන් ආරක්ෂා වීමට කළලවාරයත් භ්රෑණයත් අතර කුහරය කළලාවාරික තරලයෙන් (Amniotic fluid) පිරී ඇත.භ්රෑණය දින 280ක් ගර්භාෂය තුල වර්ධනය වේ.

වැදෑමස (Placenta)
මෙය වනාහි ගර්භාශයේ ඝන වූ ඇතුළු සිවියේ (Decidua)කොටසකින්ද, කළලයේ පිට සිවියේ තුඩු (Chorionic villi)කොටසකින්ද සැදුනු මාංසමය අවයවයකි.ගර්භය සම්පූර්ණයෙන් මේරූ විට වැදෑමස අඟල් 8ක් පමණ පුළුල් මැද අඟලක් පමණැ ඝ්න කවාකාර තැටියක් හා සමානය.එය මැද සිට කෙළවර දක්වා ක්‍රමයෙන් තුනීවී අග කොටස සම්පූර්ණයෙන් කොරියම හා සම්බන්ධ වේ.එහි බර 500 g ක්පමණ වේ.එය සාමන්‍යයෙන් දරුවාගේ බරෙන් සයෙන් කොටසකි.
වැදෑමසෙහි ප්‍රයෝජන
  • කළලයට පොෂණය ගෙන දීම
  • දරුවාගේ ශරීරයෙහි විශ වාතය ඉවත්කොට පිරිසිදු වාතය ගෙන දීමෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන අවයවයක් ලෙස ක්‍රියා කිරීම.
  • ශරීරයේ විෂ ද්‍රව්ය විනාෂ කිරීම.
  • රෝගබීජ ළදරුවාගේ රුධිරයට ඇතුළු වීම වැළැක්වීම.
නැබනළය හෙවත් පෙකෙණිවැල(Umbilical Cord)
ළදරුවා සහ වැදෑමස සම්බන්ධ කරවන පෙකෙනිවැල සාමන්‍යයෙන් අඟල් 20ක් පමණ දිගය.ඇතැම් විට එය අඟල් 3ක් පමණ කෙටිවද,අඩි 5ක්, 6ක් පමණ දික්වද දක්නට ලැබේ.එහි මහත අඟල්1/2ක් පමණවේ. මෙය රුධිර නාළ 3කින් යුක්තය.මැද නහරය අවට ඉතිරි නහර දෙක එතී පිහිටන බැවින් ඇඹරිගිය ආකාරයෙන් පෙනේ.මෙම නහර ඝන ද්‍රව්‍යකින්ද(Wharton's felly) වැදෑමසට අයත් ඇතුළු සිවියෙන්ද වැසී තිබේ.මැද නහරය වැදෑමස සිට කළලයවෙත ඔක්සිජන් වායුවද අවශ්‍ය පෝෂණ සංයෝග ද්‍රව්‍ය ද ගෙන යයි.අනෙක් නහර මඟින් ළදරුවාගේ ශරීරයෙන් පිටවන විෂ ද්‍රව්‍ය හා විෂ වාතය වැදෑමස කරා ගෙනයනු ලැබේ.ඇතැම් විට ළදරුවාගේ බඩවැලෙහි කොටසක් මෙම පෙකෙණිවැලෙන් අඟළක් පමණදුරට නෙරා තිබෙන්නට හැකි බැවින් පෙකෙණිවැල බැදීමේදී නාභියෙන් අඟල්2 ක් පමණ ඈතින් බඳිනු ලබයි.

කළලවාරික තරලය (Amniotec Fluid)

මෙය දරුවාටත් වැදෑමසට අයත් ඇතුළු සිවියටත් අතර ඇති මදක් දුඹුරු පැහැති ද්‍රාවනයකි.ගැබ මේරූ විට මෙය පයින්ට් දෙකක් භාගයක් හෝ දෙකක් පමණ වේ.ඇතැම් විට ඊට අධිකවද විය හැක.ළදරුවාගේ සම වැසී තිබෙන ගැබ් මළ හෙවත් තෙල් ද්‍රව්‍යයෙන්ද, සිනිඳු ලෝම වලින්ද,මුත්‍ර ආදිය මිශ්‍ර වීමෙන්ද එහි වර්ණය වෙනස් විය හැක.

කළලවාරික තරලයෙහි ප්‍රයෝජන

  • ගර්භාශයෙහි වැඩෙන දරුවාට ඔබමොබ පෙරළීමට අවකාශ ඇතිවීම
  • ගර්භිණී අවස්ථාවේදී උදරයට පහර වැදීම් අදියෙන් දරුවාට විය හැකි අනතුරු වැලැක්වීම
  • දරුවාට අවශ්‍ය ජලය සම්පාදනය කිරීම
  • දරුවාගේ ශරීරයේ උණුසුම රඳා පවත්වා ගැනීමට උපකාරී වීම.
  • ප්‍රසවයේදී ගර්භාශය හැකිළෙනවිට දරුවා සහ වැදෑමස අතර රුධිර ධාවනය පවත්වා ගැනීමට උපකාරී වීම.
  • ප්‍රසවයේදී ගර්භ මුඛය පහසුවෙන් විවෘත කරලීමට උපකාරී වීම
  • දරුවාගේ බිහිවීමට පෙර තද වතුර පහරකින් මෙන් යෝනිමග සෝදා පිරිසිදු කිරීම

Tuesday, August 4, 2009

ලිංගික ප්‍රජනනය Sexual Reproductivity

ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය යනු එකිනෙකට වෙනස් ජන්මානු සෛල දෙකක් එක්වී තම වර්ගයාගේ පැවැතම උදෙසා නව ජීවියෙක් බිහිකිරීමෙ විශ්වීය සත්තාවයි .මානව ලිංගික ප්‍රජනනය ගතහොත් ,ස්ත්‍රී සෛලයක් හෙවත් ඩිම්භයක් පුරුෂ ශුක්‍රාණුවක් හා එක්ව ජීවි කළලයක් නිර්මාණය වීම සිදු වේ.මෙය ගැබ් ගැනීම ලෙස හැඳින්වේ.මෙය ස්වභාවික ලෙස ලිංගික සංසර්ගයකින් හෝ කෘතීම ලෙස කළල නිර්මාණය කර ගර්භයෙහි තැම්පත් කිරීම කළ හෑක.

මෙහිදී ප්‍රජනන ක්‍රියාවලිය නිසියාකාරයෙන් සිදුවීමට ස්ත්‍රී පුරුෂ ප්‍රජනන පද්ධතීන් එකිනෙකට ආවේණික ලක්ෂණ සහිතව සැකසී ඇත.මානවයා ලිංගික පරිනතියට පත්වීම හෙවත් මල්වරීම, වැඩිවියට පත්වීම යොවුන්වියීදී එනම් අවුරුදු 10-14 කාල පරාසය තුළදි සාමාන්යයෙන් සිදුවේ.මෙම කාලය තුළදී ස්ත්රී ඩිම්භකෝෂය තුළින් ඩිම්භ මෝර පිටවීම හා වෘෂණකෝෂ තුළ පුරුෂ ශුක්රාණු සුදුසු ලෙස සැකසීම ආරම්භ වෙයි.මෙලෙස ඩිම්භයක් හා ශුක්රාණුවක එක්වීම සංසේචනය නෑතහොත් කළලයක් නිර්මාණය ලෙසද ගැබ් ගැනීම ලෙසද හැදින්වේ.


ස්ත්‍රී ප්‍රජනනපද්ධතිය.
ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ගැබ් ගැනීමෙ සිට දරු උපත දක්වා වූ සංකීර්ණ වූ ක්‍රියාවලියක් සඳහා සැකසී ඇත.
ඩ්ම්භයක් මෝරා ශුක්රණුවක් හා සංසේචනය වී නිර්මාණය වූ යුක්තානුව කළලයක් බවට පත්ව,පසුව පූර්ණ දරුවෙකු ලෙස වර්ධනනය වන්නේ ශ්‍රෝණි කුහරය තුළ ඇති ගර්භාශය තුළය.

ගර්භාශය (uterus)
ගර්භාශය (uterus) මූත්‍රාශය හා ගුදය අතර පිහිටී ඝන වූ මස් පිඬු වලින් සැදුනු මැද කුහරයක් සහිත අවයවයකි.ගැබ පිහිටීමට පෙර එහි දිග අඟල් දෙක හමාරක් හෝ තුනක් පමන වන අතර එහි යෝනි මාර්ගයට නෙරා ඇති කොටස ගැබ් ගෙළ (cervix Uteri) යනුවෙන්ද ඉහළ කොටස ගැබ් සිරුර (Corpus Uteri) යනුවෙන්ද හඳුන්වනු ලැබේ.
ගර්භාශය ඇතුළත ඝන වූ සිවියකින් වැසී පවතී.මෙය ගර්භක්ශේත්‍රය (Endometrium)නම් වේ.ඉන් පිටත ඝනවූ මස් පිඬු සමූහය ගර්භපේශි (Mesometrium) යනුවෙන්ද සියල්ලටම පිටතින් ගර්භවේෂ්ටනය(Perimetrium) නම් වූ සිවිය පිහිටා ඇත.

ගැබ්නාල හෙවත් පැලෝපීය නාල (Fallopian Tubes)

මෙය ගර්භාශය දෙපස පිහිටි අඟල් 4 1/2ක් පමණ දිග දිග නළ දෙකකි.මේවායේ එක් පැත්තක් ගර්හාශයටැද අනෙක් කෙළවර උදර කුක්කුෂියට ද විවෘත වේ.උදර කුක්කුෂියට විවෘත මුඛය අවට නිතර චංචල වන ලෝම වැනි වූ මස්දළු රාශියක් තිබේ. එමඟින් ඩිම්භකෝෂවලින් පිටවන ඩිම්භ නළය තුළත ඇදගෙන ගර්භාශය කරා ගෙන යයි.යම් හේතුවකින් මෙම නළ දෙකෙහිම කුහරයන් හෝ මුඛයන් වැසුනි නම්, බීජ වලට ගමන් කළ නොහැකි වීම නිසා ගැබ් ගැනීමක් සිදු නොවෙයි.

ඩිම්භකෝෂ (ovaries)
මෙය අඟල් 1 1/2 ක් පමණ දික් වුද, අඟල්3/4 පමණ පුළුල් වූද,අඟල් 1/2ක් පමණ ඝන වූද ගර්භාෂය දෙපස පිහිටි ඕවලාකාර හැඩයකින් යුතු ස්ත්‍රී බීජ හා ලිංගික හෝමෝන නිපදවන කෝෂ දෙකකි.
උපතේදී කාන්තාවකගේ ඩිම්භකෝෂ තුළ නොවැඩුනු බීජ සිය දහස් ගණනක් ඇති මුත් වැදිවියට පැමිණි කාලයේ සිටවයස අවු:45ක් පමණ වන තුරු කාලය තුල පූර්ණ මේරු තත්වයට පත්වන්නේ බීජ 360-480 ක් වූ ප්‍රමාණයකි.

ඩිම්භකෝෂය දෙකින් මාරුවෙන් මාරුවට මසකට එක් මේරූ ඩිම්භය බැගින් පිට කරයි.එය පැලෝපීය නාලය තුළින් ගර්භාශය කර පැමිණේ. මෙම බීජය රඳවා ගැනිම සඳහා ගර්භාශයේ ඇතුළු සිවියද මහත් වී ලෙය රැස් කර සැරසෙන්නේය.මෙම සිවිය කුඩා ලේ නහර හා බෙලසුල් (සෙම)නළ (Gland tubes) රැසකින් යුතු සෙම් සිවියකි. යුක්තාණුවක් නොසෑදුනු විට මෙම සිවියෙහි රැස් වූ ලෙය පිටවේ.එය බෙලසුල් ද්‍රව්‍ය හා සියුම් සිවි මිශ්‍ර විම නිසා සාමාන්ය රුධිරය මෙන් කැටි නොවී ඔසප් ලෙය (Menstrual blood )වශයෙන් මසකට වරක් "මාස් ශුද්ධිය,ඔසප්වීම" ලෙස හෑදින්වේ.

පුරුෂ ප්‍රජනක පද්ධතිය
පුරුෂ ප්‍රජනක අවයව සංසර්ගයක් හරහා ශුක්‍රාණුවක් සත්‍රී ශරීරය තුළදී ඩිම්භයක් හා සම්බන්ධ කළ හැකි ආකාරයට සැකසී ඇත. වෘෂණ කෝෂ නම් වූ විශේෂිත කෝෂයක් තුළ මෙම ශුක්‍රාණු හා ටෙස්ටොස්ටෙරෝන් නම් වූ පුරුෂ හෝමෝන නිපදවේ. මෙම වෘෂණ වෘෂණ කෝෂ සිරුරෙන් මදක් බැහැරව පිහිටයි.ශුක්‍රාණු නිපදවීම උදෙසාදේහ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් අවශ්‍යවීම ඊට හේතුවයි. වෘෂණය තුල පිණ්ඩිකා 200-300 පමණ පවතී.මේ සෑම පිණ්ඩිකාවක්ම කූඤ්ඤ හැඩැති අවකාශයකින් යුතුය.එකී අවකාශය තුල දඟර ගැසුනු නාලිකා රුසකි.මේවා ශුක්රධර නාලිකාය.
ලිංගික උත්තේජනයක දී ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශුක්රධර නාලිකාතුලවූ ශුක්‍රාණු මාතෘ සෛල උද්දීපනය කරයි.මෙලෙස නිපදවූ ශුක්‍රාණු වලින් ශුක්රධර නාලිකා පිරී යන අතර ඒවා ශුක්‍ර නාලිකා තුළට විවර වී ඇත.මේ ශුක්‍ර නාලිකා වෘෂණ වෙතින් නික්ම අපි වෘෂණ ට යැවේ. ශුක්‍රාණු තාවකාලිකව තැන්පත්කොට තබන්නේ අපි වෘෂණය තුළයි. අපි වෘෂණය යනු වෘෂණ කෝෂ වල ඉහළින් ඇති දඟර ගැසුණු තනි නාළයකි.මෙහි කෙළවරින් ශුක්‍ර නාළිකා ඇරඹේ. මෙලෙස ඇරඹෙන ශුක්‍ර නාල යුගල පසුව මුත්ර මාර්ගයට එක්වේ. මේ එක්වන ස්ථානය අසල ග්රන්ථී තුනකින් (ශුක්‍ර ආශයිකාව,.පුරස්ථි ග්රන්ථිය,.කූපර් ග්රන්ථිය) එක් වන ශ්‍රවයනුත් නිසා සුදු පැහැති උකු තරලයක් සෑදේ. මෙයට ශුක්‍ර තරලයයැයි කියයි. ලිංගික සංසර්ගයකදී ඍජු වූ ශිශ්ණය ඔස්සේ මෙම ශුක්‍ර තරලය ස්ත්‍රී යෝනි මාර්ගයට මුදා හැරේ.එක් වරකට ශුක්‍ර තරල මි.ලී.2.5-3.5 අතර ප්‍රමාණයක් පිටවන අතර එක් මිලිලීටරයක ශුක්‍රාණු මිලියන 100 පමණ අඩංගු වේ.