Wednesday, September 2, 2009

ඔබ කායිකව සූදානම්ද?Are you physically ready?

දරුවෙක් බලාපොරොත්තුවන ඔබ දෙදෙනාම ගර්භිණීතාවයට පෙර තම ශරීර සෞඛ්‍යය ඊට සුදුසු මට්ටමක තිබේදැයි සළකා බැලීමෙන් ගැබිනි සමයේ හා පසුව ඇතිවන අනවශ්‍ය සංකුලතා මඟහරවා ගත හැකිවේ.

සහකරු තෝරා ගැනීමේදී සැළකිළිමත් වන්න.........
විශේෂයෙන් විවාහයට පෙර සිටම තම සහකරු තොරා ගැනීමේදී සැලකිලිමත් විම තුළින් රෝගී හා විකෘති දරුවන් බිහිවීම වළක්වා ගත හැක.ලේ නෑකම් ඇති පුද්ගලයන් අතර විවාහය දරුවන්ගේ අසාමාන්‍යතා ඇති වීමට සුලභ හේතුවක් ලෙස ගැනේ.
ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ දැනුවත් වන්න.....
මව මෙන්ම පියා යන දෙදෙනාගේම මනා වූ ශරීර සෞඛ්‍යය නීරෝගි දරුවෙකු සඳහා බලපාන කරුණකි.එනිසා විවාහ වූ විගසම ඔබ දරුවෙකු බලපොරොත්තු නොවූවද ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිනිය හමුවී තමන් ගේ දරු සැළසුම හා ඒ සම්බන්ධිත ගැටළු සාකච්ඡා කළ හැක. එමෙන්ම දෙදෙනාම අඹු-සැමි සබඳතාවය,දරුවන් පිළිසිඳගැනීම හා ආර්ථව චක්‍රය,උපත් පාලනය ගැන සාමන්‍ය දැනුමක් හෝ තිබීම වැදගත් වන හෙයින් මේ පිළිබඳවද ඇයගෙන් කරුණු විමසා දැනගත හැක.

නැතහොත් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කර ඔබට පූර්ව සූදානමක් අවශ්‍යද නැද්ද යන සැක හැර දැන ගැනීම වැදගත්ය.විශේෂයෙන් ඔබගේ පූර්ව සෞඛ්‍ය පසුබිම එනම්,දරුණු රෝග,සැත්කම් හා ආසාධිත තත්වයන් පිලිබඳ නොවළහා කීමෙන් අවශ්‍ය වන්නේ නම් ඔබ යම් යම් වෛද්‍ය පරික්ෂණ සඳහා යොමු කෙරෙනු ඇත.

රුබෙල්ලා හා වෙනත් එන්නත් ලබා ගැනීම .............


මවක් වීමට බලාපොරොත්තුවන ඔබට කුඩා වයසේදී හෝ රුබෙල්ලා වැළදී ඇතිබව නොදන්නේ නම් හෝ ඊට ප්‍රතිජීවක ඖෂධ ලබාගෙන තිබේද යන්න රුධිර පරික්ෂණයකින් පහසුවෙන් දැනගත හැක.
ගර්භිණී සමයේ රුබෙල්ලා වැළදීමෙන් දරුවාට දරුණු විකෘතිතාවයන් ඇති විය හැක.එනම්,අන්ධ වීම, ශ්‍රවණාබාධ ඇතිවීම,හදවත් රෝග හා මොළයේ වර්ධනනයේ අඩුපාඩු මින් ප්‍රධාන වේ. එනිසා අනාගතයේ ඉපදීමට නියමිත ඔබේ බිළිඳා මෙවැනි දරුණු ආබාධ වලින් වළක්වා ගැනීමට රුබෙල්ලා එන්නත නිසි කළට ලබා ගැනීම වැදගත්ය.ලංකාවේ පාසල් යන සියළුම ගැහැනු ලමයින්ට රුබෙල්ලා එන්නත නොමිළේ ලබාදීමේ වැඩසටහන් රජයේ මට්ටමෙන් ක්‍රියාත්මක වන අතර යම් හෙයකින් ඔබට ඒ අවස්ථාව මඟහැරී ඇත්නම්,පවුල් සෞඛ්ය නිළධාරිනියගෙන් හෝ ළඟම ඇති රජයේ රෝහලකින් ඒ පිළිබඳ විමසා නියමිත දිනයකදී එය ලබා ගත හැක.එහිදී එන්නත ලබාගෙන අඩු ගනනේ මාස 3ක් යනතෙක් දරු පිළිසිඳ ගැනීමකට නොයා යුතු බව වෛද්‍ය මතයයි.
මේ හැර කම්මුල්ගාය,පැපොල වැනී රෝග නිසාද ගර්භිණී කාන්තාවකගේ කුසේ සිටින දරුවාට හානි ඇතිවිය හැක.ඒනිසා එවැනි රෝගවලින් මිදීම සඳහා ඇති එන්නත් පූර්ව ගර්භිණි සමයේ ලබාගැනීම කළ යුතුය.

ෆෝලික් අම්ලය ලබා ගැනීම ඉතා වැදගත්ය...............
දරුවෙක් බලපොරොත්තුවන කාන්තාවක් අඩුගනනේ පිළිසිඳගැනීමකට තුන්මසකට පෙර සිට හෝ ෆොලික් අම්ලය ලබාගැනීම කළයුතුය.පිළිසිඳ ගත් මුල් සති කිහිපය තුළ සිදුවන දරුවාගේ මොළයේ වර්ධනයට හා ස්නායු පද්ධතියේ වර්ධනයට මෙය අත්‍යවශ්‍ය සාධකයක් වන අතර පූර්ව ගර්භිණී සමයේදී එය මවගේ ශරීරයේ රැස්කර තබාගැනීම ගැබ්ගත් පසු ෆොලික් අම්ලය ලබා ගන්නවාට වඩා ප්‍රතිඵලදායකය.පහසුවෙන් ඕනෑම ඔසුසලකින් ලබාගත හැකි මෙය කාන්තවකට දිනකට 0.4g අවශ්‍ය වේ.එනිසා දිනකට එක් පෙත්තක් ලබාගැනීම සෑහෙන අතර විටමින්වර්ග සමගද මෙය ලබගතහැක.ස්වභාවික කොළපැහැති පලා වර්ග,දොඩම්, කෙසෙල් වැනි පළතුරු වල, කිරි,ධාන්‍ය හා මාංශ ආහාරවලින්ද ෆොලික් අම්ල විටමිනය ලබාගතහැකි නමුත් ශරීරයට අවශෝෂණය වන්නේ 50%ක් පමණී.එනිසා කෘතීමව සැකසූ විශේෂ ආහාර ,කිරි පිටි හා පෙති වශයෙන් ගැනීම පූර්ව ගර්භණී සමයේ සිටම කළ යුතුය.
නියමිත පරිදි ශරීර බර පවත්වාගෙන යන්න......
උසට ගැළපෙන පරිදි බරක් තබා ගැනීම හෙවත් BMI අගය 20-25ත් අතර මට්ටමක පවත්වාගෙනයාම පූර්ව ගර්භිණී සමයේදී කළයුත්තකි.BMI අගය ලබගැනීමට ඔබේ බර උසින් බෙදිය යුතුය. අඩු බර මෙන්ම අධික තරබාරු වීමද ගැබ් නොහැනීමට මෙන්ම, ගර්භිණී සමයේදී විවිධ සංකුලතා ඇති වීමට හේතුවෙයි.අධික තරබාරුව නිසා ගර්භිණී සමයේදී දියවැඩියාව,අධි රුධිර පීඩනය වැනි තත්වයන්ද,අඩු බර නිසා දරුවාගේ වර්ධන බාල වීම හා අඩුබර දරු උපත් ආදීය තත්ව ඇතිවේ.එනිසා දරුවෙක් බලාපොරොත්තුවන කාන්තාවක් පිළිසිඳ ගැනීමකට පෙර අහාර හා ව්‍යායාම තුළින් තම බර නිසි ලෙස පවත්වා ගැනීමට උනන්දු වීම අත්‍යවශ්‍යය.

දෙදෙනාම තම ආහාර ගැන සැළකිළිමත්වන්න......


දරුවෙකු බලාපොරොත්තුවන යුවලක් පිළිසිඳගැනීමකට පෙර සිටම සමබල අහාර වේලක් ගැන උනන්දු වියයුතුය.මෙහිදී පියා, නිරෝගී හා ගුනාත්මක ශුක්‍රාණු ඇති කර ගැනීමට ද මව නියමිත ශරීර බරක් පවත්වා ගැනීමට හා ගර්භණී සමයේදී දරුවට මනා පෝෂණයක් ලබා දීමටත් තම නීරෝගීබව ආරක්ෂා කර ගැනීමටත් පෙරට වඩා තම ආහර ගැන සැළකිළිමත් විය යුතුය.

මෙහිදී මිල අධික ආහාර වලට වඩා පහසුවෙන් ලබාගත හැකි ස්වභාවික එළවළු,පළතුරු හා පළා වර්ග මස් මාළු,කිරි බිත්තර තුළින් ලැබෙන පෝෂණය ඉහළ මට්ටමක පවතී.තවද කොළ කැඳ ,කොස්, පොළොස් වැනි ආහාර වල පෝෂණීය තත්වය ඉහළය.පුර්ව ගර්භිණී සමයේ දීම කෘතීම රසකාරක යෙදු අහාර,ටින් කළ කැම වර්ග, ක්ෂණික ආහාර,චීන අහාර ආදිය ඔබ වෙනුවට දෙදෙනාම නැවුම් එළවළු පළතුරු හා බීම වර්ග පිළිබඳ සැළකිළිමත් විය යුතුය.තවද ඔබ අධික ලෙස තේ හෝ කෝපි බීමට හුරු වී සිටින්නේනම් එයින්ද මිදිමට වගබලාගත යුතුය.එහි ඇති කැෆේන් දරුවාගේ වර්දනයට අහිතකර වන බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබේ.ඒ වෙනුවට විකල්පයන් ඔබට සොයා ගත හැක.එළවළු පළතුරු හා දේශීය පානවර්ග අඩු මුදලකට ඔබට සොයා ගත හැක.මෙහිදී දේශීය පාන වර්ග ගැනීමට පෙර ඒ පිළිබඳ දැනුවත් වී භාවිතා කිරීමට වගබලා ගතයුතුය.

දුම්බීම හා මත්පැන් භාවිතයෙන් වළකින්න.....
ඔබ දෙදෙනාම මත්පැන් හා දුම්බීමට හුරුවී සිටින්නේ නම් එයින් ගැබ්ගැනීමකට පෙර සිටම එයින් මිදිය යුතුය.දුම්පානය හා මත් ද්‍රව්‍ය භාවිතය නිසා පුරුෂ ශුක්‍රාණුවල වල මද සරු භාවය ඇතිවීමට හා විවිධ දෝෂ ඇති වීමටත් දුම්පානය හා සිදුවන බව සනාථ වී ඇති නිසා පියෙකු වීමට බලපොරොත්තු වන ඔබ ඔබෙ නූපන් දරුවා වෙනුවෙන් මෙම පුරුද්දෙන් මිදීමට උත්සහ ගත යුතුය.
මවක් විමට පතන ඔබද මත්පැන් හා දුම්පානය සම්පූර්ණයෙන්ම අත් හළයුතුය.මධ්‍යසාර මගින් විකෘති දරුවන් හා දුම්පානය නිසා අඩුබර සහිත දරුවන් හා නොයෙකුත් සංකුලතවන් ඇති වේ.
නිවසේ දුම්පානය කරන අයෙක් වේ නම් මවක් වීමට සිටින ඔබටද එම දුම් ආග්‍රහණය වන හේන් ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කරන්න.

ඔබදෙදෙනාගෙන් එක් අයෙක් හෝ මෙවැනි මත් ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටින්නෙ නම් ඉන් මිදීමට ඔබේ වෛද්‍ය වරයා හෝ උපදෙශකයකු වෙත යාමට මැලි නොවන්න.

දිගු කාලිනව රෝගයකට බෙහෙත් බොන්නේ නම් ඒ පිළිබඳ වෛද්‍යවරයාට පවසන්න...........
ඔබදෙදෙනාගෙන් අයෙකු යම් රෝගයකට දීර්ග කාලීනව ප්‍රතිකාර ලබන අයෙක් නම් ඒ ගැන ඔබේ වෛද්‍යවරයා හා පවසන්න.විශේෂයෙන් මෙහිදී කාන්තාව තමා ගැබ් ගැනීමට පෙර මේ පිළිබඳ ඉතාමත් සැළකිළිමත් වියයුතුය.ඊට හේතුව නම් සමහර රෝග මනා ලෙස පාලනය කර ගැබ්ගැනීමෙන් නීරෝගී දරුවෙකු බිහිකළ හැකිවීමයි.එසේම දිගු කාලිනව ගන්නා සමහර ඖෂධ ගැබ් ගැනීමෙන් පසු කළලයට හානි විය හැකි නිසා ඊට පෙර සිට සූදානම් විය හැක.එවැනි ඖෂධ වෙනස් කිරීමට වෛද්‍ය උපදෙස් ලබගත යුතුය.


  • දිය වැඩියාව....
දිය වැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවක් ගැබ් ගැනීමකට අවම වශයෙන් මාස දෙකකට පෙර සිට හෝ රුධිරයේ සීනි මට්ටම පාලනය කරගත යුතුය. එසේම ඇය ගැබ් ගත් පසුවද ඉන්සියුලින් එන්නත මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමෙන් ගර්භනී කාලයේ ඇතිවිය හැකි හානි අවම කර ගත හැක.
  • අපස්මාරය......
අපස්මාරය වැනි තත්වයකින් පෙළෙන්නේ නම් එය පාලන කර ගැනීමෙන් අනතුරුව දරුවෙකු පිළිසිඳ ගැනීමකට සිතිය යුතුය.මේ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යය.
ඔබ අපස්මාරයට කලක් සිට ඖෂධ ගන්නේ නම් දරුවෙකු බලපොරොත්තුවන විට වෛද්‍ය උපදෙස්මත ඖෂධ මාත්‍රාව හා වර්ගය වෙනස් කල යුතුය.හේතුව අපස්මාරයට ගන්නා සමහර ඖෂධ මගින් කළලයේ විකෘතිතා ඇති විය හැකි බැවිනි.එහෙත් එක් වරම ප්‍රතිකාර නතර කළහොත් එමගින් මවත් දරුවාත් අවධානමකට ලක් විය හැක.
  • ඇදුම.....
ඇදුම රෝගී කාන්තාවක් ද දිගටම ප්‍රතිකාල ලබාගත යුතු අතර ඇයට INHELER ඖෂධය භාවිත කළ හැක.
  • හදවත් රෝග........
මවක් වීමට පතන ඔබ හදවත් රෝගයකින් පෙළෙන්නේ නම් ඒ පිළිබඳ වෛද්‍යවරයා හා සාකච්ඡා කිරීම අත්‍යවශ්‍යවේ.
එයට හේතුව, සමහර හදවත් රෝග වලදී ගර්භිණී තත්වය අනතුරුදායක වනා හෙයිනි.
  • අධික රුධිර පීඩනය........
ඔබ අධි රුධිර පීඩනයට ඖෂධ ගන්නේ නම් පූර්ව ගර්භිණී සමයේ සිටම එම ඖෂධ ගැන වෛද්‍යවරයා හා සාකච්ඡා කර වෙනස් කරගත හැක.ඇතැම් ඖෂධ ගර්භයට අහිතකර නිසාය.

  • මානසික ආබාධ......
මෙවැනි කාන්තාවන් ද ගැබ් ගැනීමට පෙර එම තත්වයන් සුව කර වෛද්‍ය උපදෙස් මත පමණක් දරුවෙකු පිළිබඳ සිතිය යුතුය.


මානසික ආතතයේන් මිදෙන්න.....

ගැබ් ගැනීමකට පෙර සිටම දෙදෙනම මානසික ආතතියෙන් මිදී සැහැල්ලුවෙන් සිටීමෙන් කායික නීරෝගීබවට එය ඉවහල්වනු ඇත.එමෙන්ම වඩා යහපත් හා ප්‍රිතීමත් සම්බන්ධතාවයක් දෙදෙනා අතර ඇතිවීමටත් මෙය වැදගත් වේ.

No comments:

Post a Comment